ලොවුතුරා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේ විසින් ලෝකානුකම්පාවෙන් යුක්තව දේශනා කොට වදාළ නිර්මල ශ්‍රී සද්ධර්මයේ පහස ටැස්මේනියාවේ වෙසෙන බෞද්ධ ඔබ වෙත සමීප කර දෙමින් අභිනවයෙන් ආරම්භ වූයේ අවිවේකී දිවියට දහම් අමා පැන් සිසිලස සදමින්, සසර ගිණි නිවන උතුම් පුණ්‍ය භූමියක් ලෙසිනි. එම ගෝතම සම්බුද්ධ විහාරයෙහි සාමාජිකත්වය ලබා ගැනීමට ඔබටත් දැන් අවස්ථාව උදා වන්නේ උතුම් පින් කෙතක පින් ඵල නෙළාගැනීමේ මාහැඟි අවස්ථාව ද සමඟින් ය.
ඔබ විසින් අප විහාරයෙහි නිත්‍ය දායකත්වය ලබා ගැනීම හරහා මාසිකව එකතු වන එම සාමාජිකත්ව අරමුදල් අඛණ්ඩ පැවැත්ම තුළින් විහාරයභූමිය සහ විහාරය සඳහා අදාළ වූ ණය මුදල ලබාගන්නා වූ අංශයට දැන්වීමෙන් අපගේ ස්ථිර පරිත්‍යාග පිළිබද ඔවුන්ගේ තීරණය මත එයින් විහාරයක් ඇරඹීමට සුදුසු වූ ණය මුදලක් අප විහාරයට ලබාගත හැකි වේ. එය අපගේ ස්ථිර භූමියක විහාරය ආරම්භයට ප්‍රධාන ම සාධකය වේ. එම නිසා ඒ ගැන අපගේ විශේෂිත වූ අවධානය යොමු වී තිබේ.
විහාරයකට ඉතා ම සුදුසු වූ ස්ථිර භූමිභාගයක් මිළ දී ගැනීමටත්, එහි මහාසංඝරත්නයටත් කැපකරු දායක දායිකා පිරිසටත් රිසි සේ ශාසනික කටයුතු කරගැනීමට ඕනෑකරන විහාර සංකීරණයකට අත්‍යාවශ්‍ය වන සංඝාවාසය, චෛත්‍ය රාජයාණන් වහන්සේ, බෝධීන් වහන්සේ සහ ශාසනික විනය කර්ම කිරීම පිණිස සීමා මාලකයක් ද ගිහි පැවිදි සැමට ධර්ම අධ්‍යයනය කළහැකි වන පුස්තකාල පරිශ්‍රයක් සහිත ධර්ම ශාලාවකින් සහ භාවනා කුටි ද සමන්විත වූ සියළු විහාර අංග උපාංග සහිත විහාරස්ථානයක් ඉදිකිරීමට මෙන්ම විහාරයට අනුබද්ධ වූ දහම් පාසල ද සහිතව පවත්වාගෙන යෑමටත් එමෙන්ම ටැස්මේනියා ප්‍රාන්තයේ සහ අනෙකුත් පෙදෙස්හි සිදු කරන සියලු බෞද්ධ ආගමික පුණ්‍යකර්මයන් සඳහා දායකත්වය ලබා දීමටත් පින්වත් අවස්ථාවක් උදා වන වග කරුණාවෙන් යුතුව මෙමගින් සිහිපත් කරයි.
සර්වඥ බුදුරජාණන් වහන්සේගේ ධාතුන්වහන්සේලා, අග්‍රශ්‍රාවක මහරහත් ධාතුන්වහන්සේලා, අංගුලිමාල මහරහතන් වහන්සේගේ සහ ආනන්ද මහරහතන් වහන්සේගේ ධාතුන්වහන්සේලා ඇතුළු බුද්ධ ප්රමුඛ මහ සඟරුවනගෙන් සෝබමාන මේ මහානීය පින් බිමෙහි සාමාජිකත්ව දායකත්වය ලබා ගැනීමට ඔබට පින් සිතින් කරන ආරාධනාව යි!
ශාසනාලයෙන් යුතු ව මේ මහානීය සසුන් මෙහෙය වෙනුවෙන් එකතු වන ලෙස පින්වත් ඔබ සැමට අප ගෞරවයෙන් යුතුව ආරාධනා කරසිටිමු.
බුදු සසුන බැබලේවා!
මෙයට,
විහාර කමිටුව වෙනුවෙන්,
ශාසනස්ථිතිකාමී,
බණ්ඩාරවෙල ඤාණරුචි ස්ථවිර